තොරතුරු තාක්ෂණ සතියේ සමාරම්භක උලෙල



ශ්‍රී ධීරානන්ද තොරතුරු තාක්ෂණ උළෙල හි සමාරම්භක උ‍ත්සවය 2011 අගෝස්තු මස 14 වැනි ඉරු දින පෙ.ව. 9.00 ට ආරම්භ විය. මෙම අවස්ථාව සඳහා කැලණිය අධ්‍යාපන කළාපයේ තාක්ෂණ විෂය උපදේශක  එම් කේ සී කුලතිලක  මහතා හා සැළසුම් අධ්‍යක්ෂ  සූරියප්පෙරුම මහත්මිය, විශ්‍රාමලත් විදුහල්පති පොඩිරත්න වාසල මහතා කැලණිය අධ්‍යාපන කළාපයේ පරිගණක දෘඩාංග කණ්ඩායම වෙනුවෙන් කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ ආචාර්ය චන්ද්‍රසිරි මහතා ගම්පහ නැණසල කළමණාකරණ අධ්‍යක්ෂ ජයන්ත රණවීර මහතා ද සහභාගි විය. මෙම වැඩසටහන සදහා ප්‍රදේශවාසී දරුවන් දෙමාපියන් ඇතුළු සියයකට අධික පිරිසක් සහභාගි විය.

මුලින්ම පොල්තෙල් පහන දැල්වීමෙන් හා ජාතික ගීය ගායනයෙන් අනතුරුව වැඩසටහනට පැමිණි පිරිස  පන්චශීලයෙහි පිහිටුවන ලද්දේ ශ්‍රී ධරානන්ද මූලික පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී වැහැර ස්වර්ණරතන හිමියන් විසිනි. ඉන් අනතුරුව වැඩසටහනේ අරමුණ පැහැදිලි කිරීම හා පැමිණ සිටි පිරිස පිළිගැනීම ශ්‍රී ධීරානන්ද නැණසල කළමණාකරණ අධ්‍යක්ෂ හා ශ්‍රී ධීරානන්ද විද්‍යායතන තොරතුරු තාක්ෂණ විෂය භාර ආචාර්ය ලක්ෂ්මන් තිලකරත්න මහතා විසිනි.  එහි දී අදහස් දැක්වූ ඒ මහතා වැඩිහිටි පරපුර පරිගණ‍කයෙන් ඈත්වීම,  රටතුල බොහෝ දෙනෙක් ව්‍යාජ මෘදුකාංග වලට හුරුවී තිබීම, පරිගණකය ක්‍රීඩා භාණ්ඩයක් ලෙස පරණක් යොදාගැනීම ආදී සමාජ ගැටඵ පවතින බවත් ඒවා‍ට විසදුම් සෙවිමේ වෑයමක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් පැවසීය.  තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ ළමා පරපුර ට පරිගණක ආශ්‍රය කරගෙන ඉ‍ගෙනුම් අවස්ථා බොහෝ දුරට පවතින බවත් නමුත් ඒවා බොහෝ දෙනෙක් නොදන්නා බවත්, අන්තර්ජාලය ඵලදායීව භාවිතා කිරීම තුලින් අපගේ කටයුතු ඉතාමත් ඵලදායී කරගත හැකි බවත් ප්‍රකාශ කළේය.


අනතුරුව එළඹුනේ වැඩසටහනේ වැදගත්ම අවස්ථාවයි. ඒ හන්තාන ලිනක්ස් කැළණියට හදුන්වාදිමේ ‍අවස්ථාවයි. මේ සඳහා හන්තාන ලිනක්ස් නිර්මාතෘ ඩනිෂ්ක නවින් මහතාගේ ආරාධනයෙන් හන්තාන කමියුනිටි වෙනුවෙන් පැමිණියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරිගණක ඉන්ජිනේරු බුද්ධික කරුණානායක මහතායි‍. පරිගණක මෙහෙයුම් පද්ධතිය, ව්‍යාජ මෘදුකාංග, වානිජ මෘදුකාංග සඳහා දැරිය යුතු වියදම, විවෘත කේත මෘදුකාංග, ග්නූ/ලිනක්ස්, හන්තාන, හන්තානහි අන්තර්ගතය, වානිජ මෘදුකාංග වලට සාපේක්ෂව ලිනක්ස් මෘදුකාංග වල ඇති ඉහළ ගුණාත්මක භාවය පිළිබඳව ඉතා හොඳ පැහැදිලි කිරීමක් තම කථාව තුලින් පැහැදිලි කර දුන්නේය. දෙමාපියන් හා කුඩා දරුවන් වැඩි පිරිසක් සිටි බැවින් ලිනක්ස් හි තාක්ෂණික ගුණාංග වලට වඩා එහි අන්තර්ගත වැඩසටහන් පිළිබඳව වැඩි පැහැදිලි කිරීමක් කිරීමට එතුමා උත්සහ ගත්තේය. කෙසේ නමුත් පැය දෙකකට ආසන්න කාළයක් තුලදී ලිනක්ස් පිළිබඳ යම් වැටහීමක් පැමිණි පිරිසට ලබා දීමට එතුමා සමත් විය. පිරිස ඇසූ විවිධ ප්‍රශ්න සඳහා ද පිළිතුරු දිමෙන් අනතුරුව එතුමාගේ ‍ෙ‍ද්ශනය අවසන් විය.

‍අනතුරුව ස්තුති කථාව සමග වැඩසටහන නිමා විය. වැඩසටහන මෙහෙයවීමෙන් සහය වූයේ සුරාජ් බස්නායක මහතායි.
වැඩසටහන නිමා වීමෙන් පසු බුද්ධික කරුණානායක මහතා තොරතුරු තාක්ෂණය හදාරණ සිසුන් හා විෂය භාර ආචාර්ය වරයා සහ විෂය දැනුම ඇති පිරිසක් සඳහා ලිනක්ස් ටර්මිනලය පිළබඳ පැහැදිලි කර දීමක් කළේය.  එය ඒ සියළු දෙනාටම ඉතාමත් වැදගත් විය.